Thursday, October 26, 2017

බාලා මගේ වස්තුවට



උඹ එනවයි කිව්වම අප්පගේ 
වේලිලා ගිය කළු ඉංගිරියාව පණ ගහලා නැගිට්ටා 
තකහනියක්ම අප්පා
අවුරුදු  ගානකට පස්සේ 
හිනාවක් මුණේ ඔබාගත්තා 
නහර දිගේ උන්දැගේ රැළි පෙන්න ගත්තා 
දැන් වයසයි උන්දැට  !
මට එහෙම හිතුනා 
කණ්ණාඩියට තනියම විරිතගෙන 
තෙල් කුප්පිය අතට 
අරගෙන අතට බිංදු දෙකක් 
හලා ගත්තේ වෙනදාටත් වඩා පරිස්සමට 
ඒ මදිවට පැහිච්ච ඉසකෙස් වල තාලෙට 
ඒවා ඇතිල්ලුවේ තනියම මොනවදෝ කියව කියව 

දොර රෙද්ද මෑත් කරලා සෑහෙන වෙලාවක් 
මන් උන්දැ දිහා බලා හිටියා 
උන්දැ අද තව වෙනතුරු දන්නෙ නෑ ඒක 

උඹට උඹේ  අප්පා 
මට මගේ මනමාල හාදුවැස්ස 
අවුරුදු තිහකට පස්සේ ආයෙත් ලස්සනට පෙනුනා 
උඹ ගෙදර එනවා කියල උන්දැ හැඩවෙනවා 
ඒක පුදුමයක් 
දෙයියනේ  !
මේ ලස්සන !
මෙච්චර කාලයක්ම  මට අමතක වෙලා ගියේ කොහොමද 
උඹේ අප්පා මාව වට හත ගිහින්  කෝවිලේ ඉදන් තැල්ල දාපු හැටියේ 
මගේ නළල ඉම්ඹම වටේ හිටපු නෑයෝ මුණෙන් මුණ බලාගත්තා 
අප්පා උඹ  වගේම තමයි 
මුරණ්ඩුයි 
ඒ මුරණ්ඩුටමයි මන් වැඩි හරියක් ආදරේ කළේ 


උඹ ඉපදිලා මගේ අතට දෙන්න කලින් අප්පා ඇහේ තියාගෙන උඹව ඉඹිනවා මන් බලාගෙන 
හීනියට දිලිසුණූ ඒ  ඇස් වල තිබ්බේ පුදුම ආදරයක් 
එදා උඹ ලොකු මිනිහෙක් වෙන හැටි හීන දැක්ක  අප්පා 
පස්සේ  පස්සේ  ඒ හිනේ හිත ඇතුළෙම තුරුල් කරන් හොරෙන් ඇඩුවේ 
අපි කාටත් නොදැනෙන්න 
අන්තිමට උඹ විමුක්තිකාමියෙක් උනා !
නෑ!  උඹට  එහෙම වෙන්න වැඩ සිද්ධ කළා! 
මේ මහපොළොව එහෙම කරන්න උඹට බලකලා !
මගේ අහිංසක ආත්මය !
ජිවිතය වෙනුවෙන් උඹ මරණය තොර ගත්තා! 
ඒත්  උඹට පුලුවන්ද උඹේ අම්මව අතාරින්න 
බෑ 
උඹට බැරිවුනා 
උඹේ අම්මා උඹව හැමදාම විශ්වාස කළා 
පපුවේ තිබ්බ හැම හුස්මක්ම උඹ හින්දම ගත්ත මට 
අන්තිමට උඹ එන ආරංචිය ලැබුනා 

අප්පා ලෑස්ති වෙන්නේ උඹව එක්ක එන්න 
මන් පොංගල් බත් හැදුවා 
උඹේ ආසම කෑම 
උඹ ආපුවම ලඩ්ඩු හදන්න ලෑස්ති කෙරුවා 

ඒත් 

පුනරුත්තාපනෙට කියල ගියපු උඹව  එක්ක එන්න හිනා  වෙලා ගිය
 අප්පා 
ආපහු ආවේ
 හිස් අතින් 
උඹට හදපු පොංගල් බත් මුට්ටිය අප්පා අල්ලල විසික් කරා 
හයියෙන් මොන මොනවදෝ කිව්වා 
ආයෙත් උන්දැ ඉන් මත්තට කතා කළේ නෑ 
අද තව වෙනතුරු 
උඹේ අම්මට එක වචනයක් උඹ  වෙනුවෙන් 
කතා කරන්න 
උඹ නාවේ ඇයි  අහන්න 
පොංගල් බත් කවන්න 
කවදාවත් අද වෙනතුරු 
කවුරුත් නෑ 
උඹ වෙනුවෙන් මට අඩන්න 
කදුළු මට නෑ මගේ වස්තුවේ 

උඹේ කියල  මට ඉතුරු වෙච්ච උඹේ 
හැදුනුම් පතේ පොටෝ කැල්ල 
සාරි  පොටෙන්  වහන් කරන් පපුවට තුරුලු කරගත්තේ 
උන් එකත් මගෙන් උදුරගයි කියලා මගේ හිත කියන හින්ද 

ඇයි උඹ ඔය තරම්ම මුරණ්ඩු 
ඇයි උඹට මේ අම්මගේ ඇස දෙකට පෙන්න එන්න බැරි 
අඩුම තරමේ උඹේ අප්පට ඇයි උඹට ලියුම් කඩදාසියක් එවන්න බැරි 
අඩුම තරමේ මොකද උඹට උනේ කියලා ඇයි උන්ට අපිට කියන්න බැරි 

මට මේ මොකොවත් නොතේරෙන්නේ ඇයි කියලවත් උන්ට කියන්න කියාපන් 

උඹේ අම්ම කට්ට කළු බව හැබැව 
ඔව් එකී දෙමළ බවත් හැබැව 
එත් ඒකිට පපුවක් තියෙනවා 
උඹවත් උන්ට කියපන් එක 
මේ අව් කාශ්ටකෙට ජිවිතේ පිච්චිලා 
ගිනි ගන්නවා 
පපුව පිචිච්ලා අළු වෙලා 
පෑදිලා ගිය නහර ටික 
යන්තම් හුස්ම ගන්නවා 
මේ දුෂ්කර ක්‍රියාව
බුදු වෙන්න බැරි බව දැනගෙනම 
දෙයියෝ  විශ්වාස කරගෙන
උඹ එනකන් මන් ඉන්න එකක් 


ඇවිත් කතා කරපන් !
අප්පාගේ ඇස්  දෙක පිය වෙන්න කලින් 

උඹ මට වීරයෙක් ! මගේ වස්තුවේ 
හීනෙන් ඇවිත් කියපන් උඹ ආ වග 
හෙට උපවාසෙට යන්න කලින් මට 
පපුව පැලිලා මැරිලා යන්න 
උඹේ ආදර හාද්දකින් 
බාලා මගේ  වස්තුවට 
මොකද වුනේ කියන්න මට!!